චුල්ල ගණිතයාගේ සටහන් පොත

+ x / -

මාත්‍රා ප්‍රයෝගයක් ගජමන් නෝනාගේ කවියකින්

Published by Ganithaya under on 4:46 PM

මාත්‍රා ප්‍රයෝගයක් ගජමන් නෝනාගේ කවියකින්

ගජමන් නෝනාගේ කවියකින් මේ පැහැදිලි කරන්නට යන්නේ ශබ්ධ රටා ගණිතය පවත්වා ගන්නා ලෙස පද රචනයෙන් කවියකින් තවත් කවි ව්‍යුත්පන්න කිරීමට ඇති හැකියාව ගැනය.

මෙම උපුටා ගැනීම මහාචාර්ය බන්දුසේන ගුණසේකරගේ සාහිත්‍ය ඉතිහාසය ග්‍රන්ථයෙනි.

තිලක රත්නය නමැති මුදලිඳු දීරසේකර සමර නමකුරු
ලකත පත්මය නැබය යස සිඳු සීර සාගර පැතිර ලබියුරු
කලක තර්කය දවල නරනිඳු නෑර ආමර පැහැර කරදුරු
සිපත ගත්මය ලෙසට පරසිදු කෝරලේකර පවර බුවිසුරු


අපි මේ කවියේ මාත්‍රා ප්‍රස්ථාරය සටහන් කරගමු.

තිලක රත්නය නමැති මුදලිඳු දීරසේකර සමර නමකුරු
111 211 111 1111 21211 111 1111=28
ලකත පත්මය නැබය යස සිඳු සීර සාගර පැතිර ලබියුරු
111 211 111 11 11 21 211 111 1111=28
කලක තර්කය දවල නරනිඳු නෑර ආමර පැහැර කරදුරු
111 211 111 1111 21 211 111 1111=28
සිපත ගත්මය ලෙසට පරසිදු කෝරලේකර පවර බුවිසුරු
111 211 111 1111 21211 111 1111=28

111 211 111 1111 21211 111 1111=28
111 211 111 1111 21211 111 1111=28
111 211 111 1111 21211 111 1111=28
111 211 111 1111 21211 111 1111=28

මෙම මාත්‍රා ප්‍රස්ථාරයේ විශේෂත්වය නම් එහි ලඝු ගුරු යෙදී ඇති රටාව සියළුම පදයන් හි එකාකාරීව යෙදී පැවතීමයි. එම නිසා කුමන පද කණ්ඩයක් වෙන් කර ගත්ත ද එය එලිවැට සහ විරිත ආරක්ෂා වන ශ්‍රව්‍ය සුමධුර කවියක් ම වීමේ ඉඩකඩ ඉහලය.

එමෙන්ම ඕනම පදයක මුල අග කණ්ඩ සුදුසු ලෙස මාරු කර ද මෙම කවියෙ විවිධ ප්‍රබේධයන් මතු කළ හැකිය.මේ කවියෙන් ව්‍යුත්පන්න කළ හැකි වෙනස් කවි කීපයක් පහත දක්වා ඇත්තේ ඒවායේ මාත්‍රා ප්‍රස්ථාර ද සමග ය.

මුදලිඳු දීර සේකර
යසසිඳු සීර සාගර
නරනිඳු නෑර ආමර
පරසිඳු කෝරලේ කර


මුදලිඳු දීර සේකර
1111 21 211=11
යසසිඳු සීර සාගර
1111 21 211=11
නරනිඳු නෑර ආමර
1111 21 211=11
පරසිඳු කෝරලේ කර
1111 212 11=11

මුදලිඳු දීරසේකර සමර නමකුරු
යස සිඳු සීර සාගර පැතිර ලබියුරු
නරනිඳු නෑර ආමර පැහැර කරදුරු
පරසිදු කෝරලේකර පවර බුවිසුරු


මුදලිඳු දීරසේකර සමර නමකුරු
1111 21211 111 1111=17
යස සිඳු සීර සාගර පැතිර ලබියුරු
11 11 21 211 111 1111=17
නරනිඳු නෑර ආමර පැහැර කරදුරු
1111 21 211 111 1111=17
පරසිදු කෝරලේකර පවර බුවිසුරු
1111 21211 111 1111=17

සමර නමකුරු තිලක රත්නය නමැති මුදලිඳු දීරසේකර
පැතිර ලබියුරු ලකත පත්මය නැබය යස සිඳු සීර සාගර
පැහැර කරදුරු කලක තර්කය දවල නරනිඳු නෑර ආමර
පවර බුවිසුරු සිපත ගත්මය ලෙසට පරසිදු කෝරලේකර

තිලක රත්නය නමැති මුදලිඳු
ලකත පත්මය නැබය යස සිඳු
කලක තර්කය දවල නරනිඳු
සිපත ගත්මය ලෙසට පරසිදු

දීරසේකර සමර නමකුරු තිලක රත්නය නමැති මුදලිඳු
සීර සාගර පැතිර ලබියුරු ලකත පත්මය නැබය යස සිඳු
නෑර ආමර පැහැර කරදුරු කලක තර්කය දවල නරනිඳු
කෝරලේකර පවර බුවිසුරු සිපත ගත්මය ලෙසට පරසිදු


සියුම්ව මාත්‍රා විද්‍යාවෙන් නිබන්ධිත මේ මුල් කවියේ රස සහ අර්ථ හානි නොකර විවිධ උප කවි විශාල ප්‍රමාණයක් නිපදවා ගත හැකි බව මේ අයුරින් පෙනේ.
 

Followers