චුල්ල ගණිතයාගේ සටහන් පොත

+ x / -

ඡන්දැස සොයා යාම: පරාක්‍රම කොඩිතුවක්කු -ගුණදාස අමරසේකර-සිරි ගුණසිංහ

Published by Ganithaya under on 8:47 PM
කිවිසුරැ සුනිල් ගෝවින්නයන්ගේ ඉල්ලීමක් ඉටු කරනු වස් මෙම ලිපිය ලියමි. සත්‍යවශයෙන්ම මෙය ගණිත සටහන් ලියන්නකුගේ කාරියක් නොවුනත් සුනිලුන් ඉල්ලා සිටි පරිදි පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස අමරසේකරයන්ගේ සහ සිරි ගුනසිංහයන්ගේ කාව්‍ය කීපයක් ලිහා බැලීමටය මේ උත්සාහය.

ප්‍රථමයෙන් පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන්ගේ රශ්මි කාව්‍ය සංග්‍රහයේ එන ප්‍රථම කව වන ජීවන ගීතයක කතාවෙන් මුල් පද කීපයක් සළකා බලා එහි අන්තර්ගත වෘත්ත ලක්ෂණ විදාරණය කිරීමටය මේ සූදානම. මෙබඳු අසම්මත යමක් කරන්නට යෑමේ දී සිද්ධාන්ත මත්තේ නොඇලී නිදහස් ලෙස කපා කොටා භාවිතාවට ගැනීමට සුදුසු ලෙස න්‍යාය විකෘති කිරීම ‍මේ ලිපිය කියවන ශාස්ත්‍රෝන්මාදී අන්තගාමී
පඩිවරැන් ඉවසත්වා.


එමෙන්ම පහසුව තකා එක් එක් පද්‍ය පංතිය විශයෙන් ගෙන කරනු ලබන මෙම විග්‍රහයන් අතිශය අසම්පූර්ණ බව ද මෙම විශ්ලේෂණයන් සම්පූර්ණ කරගැනුමට මීට වඩා ප්‍රමාණික වශයෙන් විශාල කාව්‍ය පංති ප්‍රමාණයක් අධ්‍යයනය කළ යුතු වග ද මෙහිලා සඳහන් කරමි.

‍යළිත් මතක් කළ යුත්තේ මාගේ අධ්‍යාෂය කාව්‍යකරණය පිලිබඳ දෙසුම් ලියන්නට නොවන
බවත් ඊට මාහට කිසිදු ප්‍රාමාණික දැනුමක් හෝ සුදුසුකමක් නැති බවත් මා දන්නා ගණිතයට අනුව
එයට අල්ලා ගත හැකි පද්‍ය හෝ ගද්‍ය හෝ වෙනත් ස්වරෑපවලින් ඇති වියමන් තුල පාරාන්ධ ගණිතමය සකාරණාවන් ගණිතය තුලින් විදාරණය කිරීමක් නොහොත් ගණිත කතා ගොඩනැගීමක් කෙරෙහි පමණක් මගේ අතිශය උනන්දුව ඇති බවත්ය.

ශාස්ත්‍ර නියමය දනිමි. මේ සඳැස් සඳහා වූ ඡන්දස් ශාස්ත්‍රය යි. මේ ලියැවිල්ල නිසඳැස් තුල ඇති පාරාන්ධ වෘත්තයන් පිළිබඳ ගවේෂණාත්මක මැදිහත් වීමක් විනා ශාස්ත්‍රය කා දැමීමක් ලෙස නොවන බව දෙවනුව ද ප්‍රකාෂ කර සිටිමි.

ජීවන ගීතයක කතාව-පරාක්‍රම කොඩිතුවක්කු

නික්මුනෙමි
මහ නුවර බිහි දොරින්
පැමිණියෙමි
ගඟ අද්දරට
යන්නෙමි
මහ වන ගලට

වනසර වැදි කෙල්ල
යුගතින් හබල ගසා
නෙරවයි ඔරැව එගොඩට
කැළඹුනු ගඟ දියෙහි

නොවිසුරැණු සිත් ඇතිව
මනාව ඇඳ සිවුර
ගඟ මැද්ද සිට දකිමි
ඈතින් ඈතට යන
ග්‍රාම ක්‍ෂේත්‍රය
ගොවීන්-වෙළෙන්දන්
මාගමුන්-මගියන්-කුඩාවුන්
එ හැම සැකිලි රෑ සේ
නොපෙනී ඈතට යති
.....
.....

කවිය දිගට යේ. මෙතැනින් නවතා ඛණ්ඩ තුනකට කඩා පෙන්වා ඇති පරිදිම කවියේ එම කොටස් තුනේ වෘත්ත හඳුනා ගන්නට උත්සාහ කරමු.


නික්මුනෙමි
2111=5
මහ නුවර බිහි දොරින්
11 111 11 12=10
පැමිණියෙමි
11111=5
ගඟ අද්දරට
12 2111=8
යන්නෙමි
211=4
මහ වන ගලට
11 11 111=7

සමස්ත මාත්‍ර ගණන=5+10+5+8+4+7=39 මුළු මාත්‍රා ගණන 39ක් වන වෘත්තය උනුවිලඹුගී නම් වේ. එහි සිවුපද ආකෘතියේ මාත්‍රා නියමය 8-11-9-11 වේ. මෙයාකාරයෙන් මාත්‍රා නියමයෙන් පිට පැන පද ගණන 6ක් බවට පත්වුව ද මෙය උසුරැවේ දී කවියෙ ශ්‍රව්‍ය මාධූර්ය තකා යතිය හෙවත් නැවතුම් පොළවල් ප්‍රධාන වශයෙන් 6ක් ඇතියෙන් අප්‍රධාන වශයෙන් ‍2ක් ද යනාදී වශයෙන් යති 8ක් ඇත්තෙනි මේ කවිය සිවුපද ආකෘතියට පිටින් පැන ආකෘතියක් සදා ගෙන ඇත්තේ. මේ පද 6ම ප්‍රතිසංවිධානය කළ විට සිවු පද ආකෘතියට පරිවර්තනය කළ හැකි වන්නේ වුවද එය ශ්‍රවණ මාධූර්ය බාධා නොවන්නට සකස් කිරීම දුෂ්කර විය හැකිය. දුෂ්කර යනු නොහැකිය යන්න නොවන
බැවින් උත්සාහ කලොත් සාර්ථක ලෙස සිවු පද ගත කළ හැකිය. කෙසේ වූව ද පරිපූර්ණ‍ ලෙස මෙම කවි පදඡේදය උනුවිලඹුගී වෘත්තය යැයි මෙයින් සාධනය නොවේ. එම වෘත්තයේ ඡායාමය ගතිගුණයක් පමණක් ප්‍රකට කරන්නේ යැයි මේ අවස්ථාවේ දි අපට එකඟ විය හැකිය.

වනසර වැදි කෙල්ල
1111 11 21=9
යුගතින් හබල ගසා
112 111 12=10
නෙරවයි ඔරැව එගොඩට
112 111 1111=11
කැළඹුනු ගඟ දියෙහි
1111 12 111=10

සමස්ත මාත්‍ර ගණන=9+10+11+10=40 මෙම කාව්‍ය පදඡේදය මුළු මාත්‍රා ගණනින් සහ මාත්‍රා
බෙදීයාම අනුව ද සැලකිය යුතු ආකාරයකින් කව්ගී නම් වූ වෘත්තය හා සර්ව සම වේ. කව්ගී වෘත්තයේ මාත්‍රා බෙදීම 9-10-10-11 වේ. එනමුත් මෙම පදඡේදයේ මාත්‍රා බෙදුම 9-10-11-10 වේ. මින් පෙනී යන්නේ මෙම පදඡේදය බො‍හෝ දුරට කව්ගී විරිතට නෑකම් කියන බවයි.


නොවිසුරැණු සිත් ඇතිව
11111 2 111=10
මනාව ඇඳ සිවුර
121 12 21=10
ගඟ මැද්ද සිට දකිමි
12 21 11 111=11
ඈතින් ඈතට යන
22 211 11=10

සමස්ත මාත්‍ර ගණන=10+10+11+10=41මෙහි සම්පූර්න මාත්‍රා ගණන සළකා බැලුවහොත් එලු සඳස් ලකුණට අනුව දත් වෘත්තප්‍රකාරව එක්කෝ පියුම්ගී 8-11-8-14 හෝ කාරිකාගී 8-11-9-13 හෝ ‍තොහොල්ගී 8-11-9-13 හෝ ගජගැමිගී 8-11-11-11 යන වෘත්තයන්ට නෑකම් කියයි.

පද අනුව මාත්‍රා බෙදීයාම සලකා බැලූ විට කව්ගී 9-10-10-11 යන්නට ද උමතුගී 9-10-10-11 හා ද
සමපාත වේ. එනමුත් මුළු මාත්‍රා ගණන් වෙනස් වන බැවින් මේ දෙවනුව කී වෘත්තයන් ගැළපීම මේ සාවද්‍ය විග්‍රහය තුල පවා වඩාත් සාවද්‍යවන බව පෙනේ.

ග්‍රාම ක්‍ෂේත්‍රය
21 221=8
ගොවීන්-වෙළෙන්දන්
12 122=8
මාගමුන්-මගියන්-කුඩාවුන්
212 112 122=14
එ හැම සැකිලි රෑ සේ
1 11 111 2 2=10

සමස්ත මාත්‍ර ගණන=8+8+14+10=40 මේ කාව්‍ය පදඡේදය ද ඉහත ආකාරයෙන්ම සළකා
බැලිය හැකිය. මේ අනුව හැඟීයන කාරණයක් නම් බොහෝ වෘත්තයන් එලු සඳස් ලකුණේ ප්‍රකට නොවන බවත් එහි නොසඳහන් අප්‍රකට විරිත් ද පවත්නා බවත්ය.

නොපෙනී ඈතට යති
112 211 11=10

එම විග්‍රහය මෙතැනින් නිමා වේ.

දැන් මා යොමු වන්නේ කිවිසුරැ ගුණදාස අමරසේකරයන්ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන භාව
ගීත කෘතියේ මරණය නම් වූ කාව්‍ය පංතියේ වෘත්ත කොටස් හඳුනා ගැනීමටය. මෙම විග්‍රහ ක්‍රමවේදයන් මා වැනි අල්පශ්‍රැතයෙකුට නොහොබිනා වුව ද සුදුස්සන් අන්තර්ජාලයට සපැමිණ මාගේ මේ වඳුරැ කියුම් කෙරැම් විනිශ්චය කරත්වායි ද සාවද්‍ය කෙරැවාවල් මතිමතාන්තර දූරින්භුත කෙරෙත්වායි අහිංසක ප්‍රාර්ථනාවෙන් ඉදිරියට ඇදෙමි.

මරණය

තව නො‍බෝ දිනකින් ම
මගේ මේ ජීවිතය
මරණයට කැපවීම
දැන් මෙ මට සහතිකය

ඉතින් ඒ ගැන සිතා
ළතවන්ට දුක්වන්ට
මුහුකුරා ගිය සිතැති
මහට සරිවෙද කෙලෙස

උපන් ලෝ සියලු සත
මරණයට හිමිකරැය
ඉපදීම මරණයත්
සමග එන දහමක්ය

ජීවිතය අනිතමැයි
තණග පිනිබිඳු සේම
නියත මරණය පමණි
ඉතින් ළත වෙනු කුමට

එහෙත් නොපෙනෙන යමක්
මහද බිඳ මතුව එයි
‍මගෙ දෙඇස කඳුලකින්‍‍
නොදැනීම පොඟාලයි

ජීවිතය දම් වැලකි
ඉපදීම එහි මුලය
මරණය ද ඒ වැලෙහි
අග පුරැක මිස කිම ද?
.....
.....

දැන් පැදි පෙලෙන් පෙලට මාත්‍රා ප්‍රස්ථාර ගන්වා

ඒවායේ සැඟවුනු වෘත්ත රටා සොයා යමු.

තව නො‍බෝ දිනකින් ම
11 12 112 1=10
මගේ මේ ජීවිතය
12 2 2111=10
මරණයට කැපවීම
11111 1121=10
දැන් මෙ මට සහතිකය
2 1 11 11111=10

ඉතින් ඒ ගැන සිතා
12 2 11 12=10
ළතවන්ට දුක්වන්ට
1121 221=10
මුහුකුරා ගිය සිතැති
1112 11 111=10
මහට සරිවෙද කෙලෙස
111 1111 111=10

උපන් ලෝ සියලු සත
12 2 111 11=10
මරණයට හිමිකරැය
11111 11111=10
ඉපදීම මරණයත්
1121 1112=10
සමග එන දහමක්ය
111 11 1121=10

ජීවිතය අනිතමැයි
2111 1112=10
තණග පිනිබිඳු සේම
111 1111 21=10
නියත මරණය පමණි
111 1111 111=10
ඉතින් ළත වෙනු කුමට
12 11 11 111=10

එහෙත් නොපෙනෙන යමක්
12 1111 12=10
මහද බිඳ මතුව එයි
111 11 111 2=10
‍මගෙ දෙඇස කඳුලකින්‍‍
11 111 1112=10
නොදැනීම පොඟාලයි
1121 122=10

ජීවිතය දම් වැලකි
2111 2 111=10
ඉපදීම එහි මුලය
1121 11 111=10
මරණය ද ඒ වැලෙහි
1111 1 2 111=10
අග පුරැක මිස කිම ද?
11 111 11 111=10
.....
.....

මෙයාකාරයෙන් මෙම පද්‍යයේ සියලු පාදයන් සමාන මාත්‍රා ගණනින් පවත්වා ඇත. මුළු මාත්‍රා ගණන 40 වන විශම පාදයන් සහ සමපාදයන් සම මාත්‍රා ගණනින් යුත් විරිතක් එලු සඳස් ලකුණ සංඥා නොකළ ද ආසන්න ලෙස කව්ගී වෘත්තයට මේ සම විය හැක්කේ පළමු පාදයේ එක් මාත්‍රාවක් ලොප් කර සිවුවන පාදයට යැවීමෙනි. එනම් කව්ගී වෘත්තය 9-10-10-11 මාත්‍රා බෙදුමෙන් යුතු බැවිනි. කෙසේ වුව ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය නූතන පද්‍ය කාව්‍ය සංහිතා විරිත් වැකි සහ නොවිරිත් වැකි ලෙස නම් කර ඇති ප්‍රථම පරිච්ඡේදයේ මෙලෙස සඳහනක් කර ඇත.

කෙළ සුවහස් විරිත්-සඳැස් ලකුණු දනු එළුවේ
එබඳුත්හොත් කිවියරන්-නොවිරිත් නමැයි කොවිරිත්

මේ කවියට විස්තර සපයන වැලිවිටියේ සෝරත හිමියන්ගේ අදහස් ද මෙහිලා සඳහන් කිරීම වටී. කවර ලෙසකින් පද්‍ය බන්ධනය කළත් ඊට ඡන්දසෙහි වෘත්ත ඇත්තේය. එහෙයින් වැරදි වෘත්තයකැයි කිය හැක්කක් ‍නැත්තේය. සියල්ලම වෘත්ත සංඛ්‍යාවටම වැටේ. සංස්කෘත ඡන්දස් ග්‍රන්ථ අතරින් මෙරට වඩාත් ප්‍රකට වූ කෘතිය ලෙස සැලකෙන කේදාරභට්ටගේ
වෘත්තරත්නාකරයේ සඳහන් වන්නේ විෂ්ණු දෙවියන් විශ්වය පුරා පැතිර සිටින්නාක් මෙන් ඡන්දස සමස්ත වාංමාලාව සිසාරා පැතිර සිටින බවයි.

නූතන පද්‍ය කාව්‍ය සංහිතා
සුනිල් ආරියරත්න

දැං නැවතත් සිරි ගුණසිංහයන්ගේ ආලකමන්දාව පද්‍ය සංග්‍රහයෙන් ආලකමන්දාව පද්‍ය පංතිය ගෙන වෘත්ත විචාරමු.
ආලකමන්දාව- සිරි ගුණසිංහ

පෙර දවස මෙහි තිබින
හත් පියුම් මාවතක්
දෙපා සිට අහස තෙක්
ඉද්ද ගැසු මාවතක්
සුදු වැල්ල මුතු වගේ
එලිය කළ මාවතක්

පඞිවරැ සහ මහා මුනිව්රැ
රජවරැ බිසෝවරැ
සේද තන නිල්ල මත
බුමුතුරැනු පාගා නොපාගා
සුලං රැල්ලක අදෙනවුන් මෙන්
ගමන් ගිය මාවතක්
ඔවුන් එබු පිය සටහනක්
නැත අපට දකින්නට

හිරැ උදා කෙල ගනනකට පෙර
මෝදු හඳ කෙල ගනනකට පෙර
ඒ තිබුනු මහා මාවත
කොහි ද දැන් නැත දකින්නට
කොහි ද ‍ඒ සිනාසෙන ගමන
ගී කියන රඟපාන ඒ ගමන
මරැ කතර සැඟවිනි ද
මිරිඟුවක දියවිනි ද

දැන් මේ කවියේ මුල් පදඡේද්‍ය 3 සළකා බලා එහි

සැඟවුන විරිත් ලක්ෂණ ගවේෂණය කරමු.

පෙර දවස මෙහි තිබින
11 111 11 111=10
හත් පියුම් මාවතක්
2 12 212=10
දෙපා සිට අහස තෙක්
12 11 111 2=10
ඉද්ද ගැසු මාවතක්
21 11 212=10

සමස්ත මාත්‍ර ගණන=10+10+10+10=40


සුදු වැල්ල මුතු වගේ
11 21 11 12=10
එලිය කළ මාවතක්
111 11 212=10
පඞිවරැ සහ මහා මුනිව්රැ
1211 11 12 1111=14
රජවරැ බිසෝවරැ
1111 1211=9

සමස්ත මාත්‍ර ගණන=10+10+14+9=43


සේද තන නිල්ල මත
21 11 21 11=10
බුමුතුරැනු පාගා නොපාගා
11111 22 122=14
සුලං රැල්ලක අදෙනවුන් මෙන්
12 211 1112 2=14
ගමන් ගිය මාවතක්
12 11 212=10

සමස්ත මාත්‍ර ගණන=10+14+14+10=44


ඔවුන් එබු පිය සටහනක්
22 11 11 1112=13
නැත අපට දකින්නට
11 111 1211=10
හිරැ උදා කෙල ගනනකට පෙර
11 12 11 11111 11=14
මෝදු හඳ කෙල ගනනකට පෙර
21 11 11 11111 11=14

සමස්ත මාත්‍ර ගණන=13+10+14+14=51

ඒ තිබුනු මහා මාවත
2 111 12 211=12
කොහි ද දැන් නැත දකින්නට
11 1 2 11 1121=12
කොහි ද ‍ඒ සිනාසෙන ගමන
111 2 1211 111=13
ගී කියන රඟපාන ඒ ගමන
2 111 1221 2 111=16

සමස්ත මාත්‍ර ගණන=12+12+13+16=53

මරැ කතර සැඟවිනි ද
11 111 1211 1=11
මිරිඟුවක දියවිනි ද
11111 1111 1=10


දයාසේන ගුණසිංහයන්ගේ කාව්‍ය පංතියක් අවසාන ව‍ශයෙන් මාත්‍රා බෙදා මෙම ලිපිය අදට නිමා කරමු.

ගිනි සිසිල

පොළවේ රන් හිසින් දරා
ගොයම් නටන වෙල් එළිවල
කහවණු පැහැයෙන් ගුලිවී
හිඹුටු ඉදෙන බඩ වැටිවල
කොරවක් පිළිසඳර මැදින්
නැවත නිදැල්ලේ යන විට

අඩව් ගසා කන් අඩි මත
යකුන් නටයි ටෙලිපෝනය

මතු මහලින් අනන්තයට
බලියන ලොඹු කවුළු ‍තුළින්
බස්ම අසුර අත දිගුකොට
මාව දවා අළු කරන්න
දපන උමතු කොළඹ අහස
ගිනි සිසිලෙන් දමනය කර
කුඹුක් වියන් යටින් ඇදී
මා වටකර රැළි සුළි දී
දෙගොඩ තලා යන සිලිලෙන්
ගලා බසින විට මා ඔය

මතුවෙයි දිය රකුසු වෙසින්
මැද පෙරදිග දරැණු ගැටුම
මුහුදේ ජලකර පිපිරැම්
මැද පෙරදිග දරැණු ගැටුම්
බෙංගාලේ සාගතයක්
කුණාටුවක් මහ විපතක්
ලොවක් විඳින දුක් හිරිහැර
කැටි වී පතකට හිඳෙන්න
හතරවටින් හිස් කබලට
එකතු වෙමින් පැහෙන අතර

ඔරලෝසුව කටු කෙවිටෙන්
තොරක් නැතුව බැට දෙනවිට

හූ කියමින් හැරැණු අතක
දිව යන අදහස වළකා
පුංචි පුතෙකු පුංචි දුවෙකු
සෙනෙහස උතුරන දෑසින්
මග බලමින් සිටිනා බව
විකල්වූ සිහියට සිහි වෙයි

සිඟිති පතුල් ගැටෙනු ඇසෙයි
බිළිඳු සිනා රැව් පිළිදෙයි
නිවන් දොරින් පවන් රොදක්
ළඟින් හැමූ බවක් දැනෙයි

රන් තැටියක කඳුළු 1974
දයාසේන ගුණසිංහ



පොළවේ රන් හිසින් දරා
112 2 12 12=12
ගොයම් නටන වෙල් එළිවල
12 111 2 1111=12
කහවණු පැහැයෙන් ගුලිවී
1111 112 112=12
හිඹුටු ඉදෙන බඩ වැටිවල
111 111 11 1111=12
කොරවක් පිළිසඳර මැදින්
112 11111 12=12
නැවත නිදැල්ලේ යන විට
111 122 11 11=12


අඩව් ගසා කන් අඩි මත
12 12 2 11 11=12
යකුන් නටයි ටෙලිපෝනය
12 12 11211=12

මතු මහලින් අනන්තයට
11 112 12111=12
බලියන ලොඹු කවුළු ‍තුළින්
1111 11 21 12=12
බස්ම අසුර අත දිගුකොට
21 111 11 1111=12
මාව දවා අළු කරන්න
21 12 11 121=12
දපන උමතු කොළඹ අහස
111 111 111 111=12
ගිනි සිසිලෙන් දමනය කර
11 112 1111 11=12
කුඹුක් වියන් යටින් ඇදී
12 12 12 12=12
මා වටකර රැළි සුළි දී
2 1111 11 11 2=12
දෙගොඩ තලා යන සිලිලෙන්
111 12 11 112=12
ගලා බසින විට මා ඔය
12 111 11 2 11=12

මතුවෙයි දිය රකුසු වෙසින්
112 11 111 12=12
මැද පෙරදිග දරැණු ගැටුම
11 1111 111 111=12
මුහුදේ ජලකර පිපිරැම්
112 1111 112=12
මැද පෙරදිග දරැණු ගැටුම්
11 1111 111 12=12
බෙංගාලේ සාගතයක්
222 2112=12
කුණාටුවක් මහ විපතක්
1212 11 112=12
ලොවක් විඳින දුක් හිරිහැර
12 111 2 1111=12
කැටි වී පතකට හිඳෙන්න
11 2 1111 121=12
හතරවටින් හිස් කබලට
11112 2 1111=12
එකතු වෙමින් පැහෙන අතර
111 12 111 111=12

ඔරලෝසුව කටු කෙවිටෙන්
11211 11 112=12
තොරක් නැතුව බැට දෙනවිට
12 111 11 1111=12

හූ කියමින් හැරැණු අතක
2 112 111 111=12
දිව යන අදහස වළකා
11 11 1111 112=12
පුංචි පුතෙකු පුංචි දුවෙකු
21 111 21 111=12
සෙනෙහස උතුරන දෑසින්
1111 1111 22=12
මග බලමින් සිටිනා බව
11 112 112 11=12
විකල්වූ සිහියට සිහි වෙයි
121 1111 11 2=12

සිඟිති පතුල් ගැටෙනු ඇසෙයි
111 12 111 12=12
බිළිඳු සිනා රැව් පිළිදෙයි
111 12 2 112=12
නිවන් දොරින් පවන් රොදක්
12 12 12 12=12
ළඟින් හැමූ බවක් දැනෙයි
12 12 12 12=12


මෙම කාව්‍ය පංතියේ සියළුම පද මාත්‍රා බෙදී යාම දොලස [12] බැගින් වීමෙන් මෙහි ශ්‍රව්‍ය ශ්‍රැතිය මනාව පවත්වා ගෙන ඇත.


ගී වෘත්ත සාරාංශය

ගී 9-11-11-11
පියුම්ගී 8-11-8-14
මත්වලගී 8-8-8-13
උමතුගී 9-10-9-10
කව්ගී 9-10-10-11
බමරගී 8-11-10-13
යහගී ලුහු 9-ලුහු 11-ලුහු 11 -ලුහු 11
දුවඟගී 9-11-11-13
යොන්ගී 8-11-10-11
කාරිකාගී ලුහු4ගුරැ2-ලුහු7ගුරැ2-ලුහු5ගුරැ 2-ලුහු9ගුරැ2
තොහෙල්ගී 8-11-9-13
නළුගී --_-_-_-/---_-/-----_-/--_-
සසපුළුතුගී -_-_--2/-_-_--2/-_-_--2/-_-_--2/
උනුවිලඹුගී 8-11-9-11
ගජගැමිගී 8-11-11-11
සඳහටගී ?-?-?-? මාත්‍රා සංඛ්‍යාව අවිනිශ්චිතයි

මෙම කෙටි හැදෑරීම තුලින් විවරණය වන්නේ සඳැස් ලක්ෂණ වලින් වියුක්ත වූ නිර්මාණයක් ලෙස නිසඳැස් ආරෙන් ලියැවුන දේද නොපවතින බවයි. සෑම නිසඳැසක් ලෙස පෙනී යන්නා වූ නිර්මාණයක් තුල ද සඳැස් ලකුණු ගම්‍යමාන වන බවයි. එමෙන්ම නොවිරිත් වැකි ලෙස ප්‍රතික්ෂේප කළ හැකි කිසිම දෙයක් ලිවිය නොහැකි බව ද මින් පෙනී යයි.

එකම ‍වැදගත් දෙය නම් ශ්‍රවණ මාධූර්යය සලකා විවිධ වෘත්ත ප්‍රබේධයන් කවියන් විසින් දැනුවත් ව හෝ නොදැනුවත් ව භාවිතා කරන බවයි.

ගුණදාස අමරසේකරයන්ගේ නිර්මාණ කෙරෙහි නිසඳැස් ය යන යෙදුම පවා භාවිතයට අනුචිත වන්නේ එතුමා නිසඳැස් යනුවෙන් පවත්නා ඡන්දසින් බැහැර නිදහස් කාව්‍ය සම්ප්‍රදාය ත‍රයේ ප්‍රතික්ෂේප කරන්නෙකු බැවිනි. නමුත් මෙය කෙතරම් දුරට නිරවද්‍යදැයි තවදුරටත් අධ්‍යයනය කළ යුත්තේය. මන්ද යත් ඡන්දස් අවයවයකට අනුගත නොවන කිසිදු පද බෙදීමක් නොමැති බව න්‍යායික හැදෑරීමෙන් පෙනී යන බැවිනි. ඔහුගේ පද්‍ය තුල එළු සඳස් ලකුණේ නොවන අප්‍රකට විරිත් ඇති බව පමණක් මෙහි සඳහන් කිරීම සෑහේ.


ආශ්‍රිත ග්‍රන්ථ:

1. එළු සඳස් ලකුණ-පූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමි
2. නූතන පද්‍ය කාව්‍ය සංහිතා- මහාචාර්ය සුනිල් ආරියරත්න
3. රශ්මි -පරාක්‍රම කොඩිතුවක්කු
4. භාව ගීත-ගුණදාස අමරසේකර
5. ආලකමන්දාව-සිරි ගුනසිංහ
 

Followers