චුල්ල ගණිතයාගේ සටහන් පොත

+ x / -

වර්ගඵලය දෛශිකයක්!

Published by Ganithaya under , , , , , , on 7:07 PM
මගේ මිත්‍රයෙකුට පොතක කවරයක් ඡායාරූපගත කරගන්න ඕන වුනා. පළමු වටයේ දී ගත් ඡායාරූප පෙන්නුවේ විකෘති හැඩ සහිත පොතේ කවරය මිසක් සැබෑවට පොත අතට අරං බැලුවම පේන කවරය නොවෙයි. එහෙන් මෙහෙන් ඇද වෙලා. පස්සේ එයාට පොතට ලම්බකව කැමරාව අල්ලලා පොතේ දාරයට සමාන්තරව ඡායාරූපයේ දාරය පවත්වාගෙන වැ‍ඩේ කරගන්න යැයි මා උපදෙස් දුන්න නිසා වැඩේ හරියට කෙරුනා. මෙතනදී මේ කරපු වැඩේ ගැන පොඩි ගණිත පසුබිමක් තියෙන නිසා ඒක කා එක්කත් බෙදා ගන්න මෙහෙම සටහන් පොතට ඇතුලත් කරන්නට සිතුනා.

පොටෝග්‍රැපි කරන ගො‍ඩක් අය දන්නේ නැහැ වර්ගඵලය දෛශිකයක් කියලා.

දෛශිකයකට[vector] විශාලත්වය[magnitude] ‍වගේම දිශාවකුත් [direction] තියෙනවා. ඒක කවුරුත් වගේ උසස් පෙළ භෞතික විද්‍යාව කරා නම් දන්නවා නේ. ඒත් කවදාවත් උසස් පෙළ පංතියේදී වර්ගඵලය දෛශිකයක් කියල උගන්වන්නේ නැහැ. මොකද ඒක උගන්වන්න අභිසාරීතා ප්‍රමේය කියල උසස් පෙළට වඩා උසස් ගණිත දැනුමක් අවශ්‍ය වෙන නිසා.

අනිත් එක උසස් පෙළ පංතියේදී පීඩනය කියන දේ අර්ථ දක්වන්නේ බලය බෙදීම වර්ගඵලය කියල සහ පීඩනයට දිසාවක් නැතිය කියලයි. ඕනම නම් පරණ සටහන් බලන්න ද්‍රව පීඩනයට අදාලව. ද්‍රවයක් ඇතුලේ ඕනම ලක්ෂ්‍යයක දී සියළු දිශාවන්ට පීඩන අගය සමානය කියල ඔප්පු කිරීමකුත් කරනවා මට මතක හැටියට. ‍

නමුත් දෛශිකයක් යම් කිසි අදෛශිකයකින් බෙදුවම දෛශිකයක් ලැබෙන්නයි ඕන. ඒ කියන්නේ ප්‍රවේගය දෙකෙන් බෙදුවම ලැබෙන්නෙත් ප්‍රවේගයක්. මොකද දෙක කියන්නේ ස්කේලර් [scalar] එකක් නැත්නම් දිශාවක් රහිත වීජ අගයක් පමණක් නිසා.

නමුත් පීඩනය ගණනය කරගන්නේ බලය නැමති දෛශිකය වර්ගඵලයෙන් බෙදලා‍.‍ එහෙම නම් වර්ගඵලය දිශා රහිත දෙයක් නම් පීඩනය ලැබිය යුත්තේ දෛශිකයක් ලෙසයි!

පීඩනය දෛශිකයක් නොවන්නේ වර්ගඵලය දෛශිකයක් වීම නිසයි.

වර්ගඵල දෛශිකයේ දිශාව එම වර්ගඵලයට අභිලම්බ දිශාවයි. ඒකයි රූපවාහිනි තිරයක් නැත්නම් ඡායාරූපයක් දිහා හරියටම බලන්න ඕන නම් එහි අභිලම්බ දිශාවට ඇස තැබිය යුත්තේ. අනෙක් ඕනම දිශාවකට එන්නේ ප්‍රක්ෂේපිත ප්‍රතිබිම්බයක් ඒ කියන්නේ යම් යම් දිශාවලට විරූප වූ ප්‍රතිබිම්බයක්.

දැං සේරම පැහැදිලි නේ?

ලෝක පයි [Pi] දිනය

Published by Ganithaya under , , , on 6:25 PM
විශ්ව නියමයන් සෑම විටකම ගුප්තය. නොඑසේ නම් අතිශය බුද්ධිමත්ය.

වෘතයක පරිධිය එහි විශ්කම්භයට දරණ අනුපාතය අපට කිසිදා නිවැරදි ලෙස ගණනය කළ නොහැකිය. මන්ද යත් ග්‍රීක පයි අකුරෙන් හකුලා දක්වන 3.141593.... යනාදී වශයෙන් අපරිමිත ලෙස දශමස්ථාන සහිත මෙම අගය කවරදාකවත් සම්පූර්ණයෙන් ගණනය කර ගත නොහැකි වීමයි. තවද මෙම අගය කිසියම් සංඛ්‍යා දෙකක අනුපාතයක් ලෙස දැක්විය හැකි ඉලක්කමක් ද නොවේ. එවැනි සංඛ්‍යාවකට අපරිමේය සංඛ්‍යාවක් යැයි ව්‍යවහාර වේ.

ඇත්තටම වෘතයක පරිධිය වක්‍රයක ලැකි රේඛීය දිගකි. එය පරිමිත බැව් බැලු බැල්මට පෙනේ.
වෘතයක අරය ද කිසියම් පරිමිත දිගකි. එය ද පරිමිත බැව් බැලු බැල්මට පෙනේ.

එසේ නම් එම දිගවල් අතර අනුපාතය අපරිමේය වූයේ ඇයි?

පයි අගය දශම ස්ථාන මිලියන බිලියන ට්‍රිලියන ප්‍රමාණයක් තෙක් ගණනය කළද එම සංඛ්‍යා මතු වීමේ කිසිදු රටාවක් නොමැත. මෙම ගුණය වර්ගමූල සංඛ්‍ය කෙරෙහිද බල පවත්වයි. මෙසේ සුවිශේෂී ඉලක්කමකට විශ්වයේ ඇති පදඝඨනාත්මක සබැඳියාව කොයි තරම් දුරකට විහිදී යන්නේ ද?

සොබා දහම බොහොමයක් වූ සිය නියමයන් උදෙසා මෙබඳු අපරිමේය අගයක් සඟවා යොදා ගත්තේ ඇයි?

කෙප්ලර්ගේ තුන්වන නියමයේ සිට අයින්ස්ටයින් ගේ සාපේක්ෂාතාවාදී ක්ෂේත්‍ර සමීකරණ දක්වා වූ විවිධ භෞතික ගණිත සමීකරණවල දෘෂ්‍යමාන වන පයි අගය මිනිසා නිර්මාණය කරගත් සියළු දැනුමේ ක්ෂේත්‍රවල අදෘශ්‍යමානව වාසය කරයි.

ක්වොන්ටම් මට්ටමේ දී නම් පූර්ණ සංඛ්‍යා විසින් සිය නීති රීති පෝෂණය කර ගනී.

ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය හෝ කක්ෂීය අරය හෝ තරංග ආයාමය හෝ තීන්දු වන්නේ ධන පූර්ණ සංඛ්‍යා ඔස්සේ බව පරමාණුව පිළිබඳ බෝර් ආකෘතිය පෙන්වා දේ. ශක්තිය ක්වොන්ටීකරණය වන්නේ ෆෝටෝන අංශුවල ගුණාකාරයෙන් වීම ඊට හේතුවයි.

එනමුත් වඩාත් සියුම්ව බැලූ විට එම සියළු ගණිතය තුල ද පයි අගය නිදා සිටියි.




උදාහරණයකට රිඩ්බර්ග් නියතය බලන්න. එහි පයි අගය නිහඩව සිටී. එම රිඩ්බර්ග් නියතය හා සැබැඳි සමීකරණ ‍ඔස්සේ ඉහත දැක්වූ ඉලෙක්ට්‍රෝනයේ භෞතික ගතිගුණ ගණනය කර ගනී.

විශ්වයේ අතිශය කුඩා දේ තුල පූර්ණ සංඛ්‍යා රජ කිරීමටත් පොදුවේ සියල්ල කෙරෙහි අපරිමේය සංඛ්‍යාවක් වූ පයි අගය සැඟවී සිටින්නටත් රහස කුමක් ද?

ඒ රහස කවදා හෝ හෙලි වනතුරු මේ සටහන තබන්නේ මාර්තු 14 වන දින යෙදෙන ලෝක පයි [Pi] දිනය නිමිති කොට ගෙනය.
ලෝක කාන්තා දිනය ගෙවී සතියක් වත් ගෙවී යන්නට මත්තෙන් දැං උදා වන්නේ ලෝක පයි [Pi] දිනයයි.

3/14 Pi දිනය වන්නේ ඇයි දැයි දැන් කීමට අවශ්‍ය ද?
 

Followers